හිමි අහිමි

හමුවීම යෙදී තිබුණේ පෙ.ව. දහයටය. නමුත් පුරා පෑ බාගයක් පමණ, නීශා, ඔරලෝසුව පරීක්ෂා කරමින් නොයිවසිල්ලෙන් පසුවූවාය. කවුළුවට ඔබින් දිස් වූයේ යළි ගොඩනැගෙන සුවිසල් නගරයයි. තවත් මොහොතකින් පසු ඇගේ නම කැඳවනු ඇති.

දරුවාට තවමත් මාස හයක් ගත නොවුනු මුත් දැනටමත් එබැව් පිටතට පෙනේ. චතුරස්‍රාකාර මුහුණ, දිගු කුරුළුහොටක් වන් නාසය, හැඩි දැඩි නමුත් ආකර්ෂණීය දෑත්, කැරළි හිසකෙස්, ඝන ඇසිබැමි, පැහැපත් පෙනුම… නීශා සෑමවිටම පැතුවේ ඔහු වැනිම වූ දරුවෙකි. තමා වැනි පිස්සු හටනකට සිත්බැඳීමෙන් ඔහු ලද ආනිශංසය වූයේ පුරා සිව් වසක කෙළිලොල් මතක පමණකි. නමුදු, ටෙහාන්, යුද්ධය වෙනුවෙන්ම ක්‍රියාකාරීව සිට අතුරුදන් වී තවත් තෙවසරකට ආසන්න කාලයක් ගත වී ඇති අතර, ඔහු නැවත පැමිණෙන තෙක් ඇය පෙරමග බලා සිටින්නීය.

එකවරම අසළින් නැගුණු ලෝමුවා හඬ නීශාව පියවි ලෝකයට ගෙන ආවාය. එය අවට ටයිල් බිත්තිවල සුදු පැහැයට ගැලපෙන ලෝහමය පෙනුමින් යුතුව කොරිඩෝවෙහි සිටගෙන සිටියේය. සෘජු පපුවෙහි රැඳවුණු විශාල තිරය මත ඇගේ තොරතුරු දිස්වුණි. නැවතත් එය සිය යාන්ත්‍රික කාන්තා හඬින්

“නීශා එඩ්වර්ඩ්ස්; මහත්මිය,”

යයි ඇමතුවාය.

නැගීහුන් නීශා

“සුභ උදෑසනක්, ඔබට”

යනුවෙන් පැතුවේ ඒ රොබෝවෙකු බව මදකට ඉවතලමිනි…

පෙරළා සමාචාර කළ හෙදරොබෝවා

“කරුණාකර, මා අනුව එන්න”

යි පවසා, සිය 180° කැස්පර් රෝද පෙරළමින් ගමනෙහි යෙදුණි. නීශා එය අනුගමනය කළ අතර එහි ගමන්මග කෙටි කොරිඩෝවක් හරහා වෛද්‍ය කාමරය වෙත යොමු විය…

නීශාද රොබෝවා සමග වෛද්‍ය කාමරය වෙත යොමු විය…

“ඔබ මොකක්ද?”

නීශා විමසිලිමත් වූවාය. මෙවන් අවස්ථාවක් ලදහොත් සෑම රොබෝවකගෙන්ම ඇසිය යුතු පැනයකි එය…

“මම ඈන්”

යනුවෙන් එය සඳහන් කළාය.

“බොට්නෙටික්ස් යුනයිටඩ්, යොකොහමා ශාඛාව විසින් නිපදවූ අංක NBFSL34576884; NurseBotFemale. මූලික සංචලනය, ජීවදත්ත හඳුනා ගැනීම, සන්නිවේදනය සහ අවශ්‍ය සංජානන-මතක හැකියාව සහිතව සැලසුම් කර ඇත.”

නීශා තෘප්තිමත් සිනහවක් පෑවාය. තදින් හැමූ ඖෂධ සුගන්ධය මධ්‍යයේ, රොබෝවා කුටියේ දොර විවරකළාය. වෛද්‍ය රෙබෝනි…

රෙබෝනි

(Image source: hothardware.com)

වෛද්‍ය රෙබෝනි අසුන්ගෙන හුන්නේ ඇගේ සංකීර්ණ නමුත් පැරණි මෝස්තරයේ මේසය පිටුපසිනි. මේසයේ වම්පසින් දියුණු ආකාරයේ ස්පර්ශ සංවේදී පරිගණක තිරයකි. කුටියේ ඈත කොනෙහිද සංකීර්ණත්වයෙන් නොමඳවූ යාන්ත්‍රික ඇඳක් වීය. අවට මනබඳනා ටයිල් සැරසිල්ල මැද කැපීපෙනුණු සුදු පැහැති ඝනකම් වෛද්‍ය කබායක් ඇඟලූ ඇය, වීදුරු රාමුව සහිත උපැස් යුවළ නිසා තීව්‍ර බවක් දැක්වූවාය. ඇගේ සිහින් ගෙල වටා වෙදනලාවක් එල්ලුණු නමුදු මෙකල එය අනවශ්‍ය උපකරණයකැයිද, එය වෛද්‍යභාවයේ සංකේතය යැයිද නීශාට සිතිණි. කෘත්‍රිමව වුවද ටෙහාන්ගේත් නීශාගේත් ලේ උරුම සංකලනය සිය කුසින්ම බිහිකරනුවස් මින් සත්මසකට පමණ පෙර නීශා-වෛද්‍ය රෙබෝනි හමුවට එළැඹුණාය.

“සුබ උදෑසනක් නීශා!!!”

රෙබෝනි නීශාව උණුසුම් ලෙස පිළිගත්තා; තවත් හෙදියක වෙත හැරී මෙසේ පැවසුවාය:

“ජෙනී, නීශා එඩ්වර්ඩ්ස්; ඇමුණුම් අංක S51T226, ප්‍රතිඵල මට එවන්න.”

නික්මුණු හෙදියද රොබෝ නිලධාරියෙක් බව නිශාට හැඟුණි.

“ඉතින්,”

රෙබෝනි මදහස මතුයෙහි රාවයක් නැගුවාය…

“කොහොමද දැනෙන්නේ?”

“මම හිතන්නෙ ඔහු කණගාටුදායක පෙනුම තියෙන කොල්ලෙක් වෙන්න ඇති “

නීශා මොහොතකට නිසල වූවේ මීළඟට කුමක් කියන්නටදැයි නොදැන ය. ඇගේ නෙත් යොමු වූයේ පිටත ලෝකයටය. මහා යුද්ධයකට කළුගැසුණු ඇගේ නගරය නැවත නැගෙමින්, ඇයට කෝපාවිෂ්ඨ ලෙස ආචාර කළ නමුත් නීශා එයට තවදුරටත් බිය නුවූවාය…

නීශාගේ නෙත් රැඳුණේ කවුළුවට එපිටිනි. නිහඬතාවය බින්දේ වෛද්‍යවරියයි.

“මම ඇත්තටම නම් ප්‍රසව වෛද්‍ය තමා. දැන් EFST ප්‍රතිඵලය ගැන…”

ඇය නීශා වෙත අවධානය යොමුකළාය.

“නීශා ඒ ගැන කරදර වෙන්න එපා. මම දැනටමත් ඔබට මේ ගැන කියලනේ තියෙන්නේ … අහ්!! ජනමාධ්‍ය… හැමදේම අතිශයෝක්තියෙන් කියන්නේ.. පරීක්ෂණ පදනම මත ආසන්නව උපත් දහසකින් එකක් විතරයි, එහෙම වෙන්නේ. ඔයා කරදර වෙන්න එපා බොරුවට.”

නීශාගේ බිය සාධාරණ විය.

“නමුත් හදිසියේම හරි වැරදියට නම් වැඩ සිද්ධවෙන්නේ, නීතිය අනුව බලහත්කාරයෙන් හෝ එය ඉවත්… “

තිරය වෙතින් නැගි තියුණු බීප් නාදයෙන් වෛද්‍යවරියගේ වදන් නෑසී ගියේය.

දෙදෙනාටම තිරය දෙස බැලවුණි. නීශාගේ පරීක්ෂණ ප්‍රතිඵල අඩංගු විද්‍යුත් පෝරමය පිරික්සමින් රෙබෝනී සිනාසෙන්නට වූවාය:

“සියලු අවයව සම්පූර්ණවෙමින් තියෙන්නේ, බාහිර විරූපණ ශුන්‍යයි, හදවත, අක්මාව, වකුගඩු පරීක්ෂාව; රුධිර පරික්ෂාවන් සාමාන්‍යයි, IQ අනුපාතය 7ක්!!!… වාව්… ඔහු බුද්ධිමත්, ඒ මාර්ගයෙන්…”

නීශාටද සිනාවෙන් තොරවන්නට නොහැකි විණි.

“මූලික ඇමයීනෝ ව්‍යුහය සාමාන්‍යයි, පිරිඩීන් හා පිරමිඩීන් චෙක්ඩ්… නියුක්ලියෝටයිඩ විශ්ලේෂණය… මෙලනින් නිෂ්පාදනය 68%, පිළිකා අවදානම 13%, ඇදුම 12.44%, ඔක්කොම හරි පරාසයේ වගේ පේන්නේ… එතකොට හෘද අක්‍රමිකතා අවදානම…”

රෙබෝනි හදිසියේම නිහඬ වූවාය. ඇගේ මුහුණ බරපතළය. නීශා එදෙස බලත්ම ඇය කුඩා හඬකින් වාක්‍යය සම්පූර්ණ කළාය…

” 83.55%”.

නීශාගේ කොඳුඇටපෙළ දිගේ සීතලක් ගැලුවේය. පසුගිය සති කිහිපය පුරා ඇය දැඩි ලෙසම කලබල වූයේ පරීක්ෂණයේදී පිළිගත හැකි අගයයන් පිළිබඳවමය. හදවත සඳහා උපරිමය 45% ක් විණි. දැන් සියල්ල අවසන්. ඇගේ දරුවා EFST අසමත් වී ඇත.

“මට කණගාටුයි නීශා.”

රෙබෝනි පැවසුවේ ඉවත බලාගෙන ය.

“අපි බබාව අතහරින්න ඕනේ…!!!”

වෛද්‍ය අවවාදය රුදුරු වීය. නීශාට ඇගේ ඇඩ්‍රිනලීන් මට්ටම ඉහළ යනු දැනුණාක් මෙනි; බිය සැක හා දුක මිශ්‍ර අඳුරකින් ඇගේ මනස පිරිණි.

“අනේ…!!!! නෑ… නෑ… නෑ…”

“රෙබෝනි , ඩ්..ඩොක්ට අනේ ප්ලීස්… ප්ලීස්, මට විශ්වාසයි අපට.. එ… එයාට මේක කරන්න පුළුවන්… එයාට 20% අවස්ථාවක් තියෙන්නේ ඒ ඇති…”

නීශා කෑගසන්නට වූවාය.

“මට එයාව දෙන්න රෙබෝනී… හැමදාම උනත් හොස්පිට්ල්ස්වලට මං එයාව අරං යන්නම්… අනේහ්…!”

“මට හරිම කණගාටුයි නීශා… මොනවා වුනත් ඔබ නීතිරීති දන්නවා. අපට අවදානමක් ගන්න බෑ..”

රෙබෝනි දැඩි වන්නට වූවාය.

“යුද්ධය අපි හිතුවාට වඩා දරුණු වුණා; අපේ සම්පත් ඕනෑවටත් වඩා විනාශ කළා. දැන් අපිට ආහාර, ජලය, ඉන්ධන, සම්පත් හිඟවෙමින් තියෙන්නේ… ඔයා බුද්ධිමත්: ඒ සියල්ල ඔයා දන්නවා… එනිසාමයි අපි කළල යෝග්‍යතා පරික්ෂණය (EFST: Embryo Fitness Screen Test) හඳුන්වාදුන්නේ…කරුණාකර තේරුම්ගන්න”

නීශාගේ දෙනෙත් බොඳවී ගියේය…

“කරුණාකර… අනේ, ඩොක්ට, අපි ගොඩාක් කල් ඉඳන් අඳුරන්නේ… ඔයා මාව දන්නව… එයාවත් දන්නව නේද, ටෙහාන්… ටෙහාන් එඩ්වර්ඩ්ස්… මේ රට වෙනුවෙන් ජීවිතය කැපකළේ… එයාගෙ අන්තිම අවස්ථාව තමා මේ! ටෙහාන්ගෙ තෑග්ග…”

නීශා කුස පිරිමදිමින්ම වැළපුණාය.

“ටෙහාන්ගේ එකම උරුමය … මීට කලින් හැමවෙලේම අතහැරුන… කොහොම කෙනෙක් උනත් කමක් නෑ නෑ නෑමයි… එයයි මගේ මුළු ලෝකෙම…”

“වදවෙන්න එපා නීශා… “

රෙබෝනි පැවසුවේ එන්නත් යන්ත්‍රයක් අතට ගනිමිනි:

“ඔබෙන් දරුවගේ ඔක්කොම මතක ඉවත්කරනවා… !!!”

“දරුවගේ මතක ඔක්කොම ඉවත්කරනවා… ඔබේ ශරීරයේ අනවශ්‍ය හෝමෝන සියල්ල බැහැරකරනවා… ඔබට දරුවා ගැන මොනවත්ම නැතිවෙයි… හැඟීම්, මතක … කිසිවක්ම…බලන්නකො”

එක්වරම විවර වූ දොරින් ඇතුල්වූයේ ආරක්ෂක රොබෝවරු තිදෙනෙකි: නීශා තිගැස්සී ගියාය.

“ඔයා වදවෙන්නේ කැප්ටන් එඩ්වර්ඩ්ස් ගැන නම්, නීශා… ඔහු තවදුරටත් අප අතර නෑනෙ”

ඇගේ ස්වරය අචල වීය.

“අනේ ප්ලී….ස් !!!!”

නීශා පොරබදන්නට වූයේ තමාව කුටියේ පසෙක වූ ඇඳ වෙත ඇදගෙන ගිය රොබෝවරුන් සමගය.

“රෙබෝනී…”

ඇය සිය වෑයම අත්නොහළාය.

“ඔයාට හදවතක් නැද්ද ???”

“නෑ නීශා නෑ… ඒවා දැන් අදාළම නෑ… සමාවෙන්න”

රොබෝවො නීශාව යාන්ත්‍රික ඇඳෙහී රළු පටි අතර හොවාලූහ.

“උඹ මොකෙක්ද ???”

අවසානයේ සියලු වැර යොදා රොබෝවරුන් තල්ලු කළ නීශා මොරදුන්නාය.

නීශා මොරදුන්නා

(Image source: scarymommy.com)

රෙබෝනී ඈ අසළටම ළංවූවාය. සියල්ලන්ම නිසල වූ එක් නිමේෂයක් ගතවිණි.

“මම වෛද්‍ය රෙබෝනී…”

ඇගේ හඬ ලෝමුවා වීය.

“තවත් උවමනා නම්; රොබෝටෙක් ලැබෝටරීස්, මියුනිච්. අංක DBFSL10089842; DoctorBotFemale…”

ඇය – එය – ප්‍රබල ස්වරයක් නැගුවාය.

“උසස් යාන්ත්‍රික කුසලතා, සංකීර්ණ මතකය, සන්නිවේදනය, කෘත්‍රිම බුද්ධිය සහ චිත්තවේගීය ප්‍රතිචාර සමග… හැඟීම් සහ හදවත නොව තර්කයන් සහ න්‍යායයන් අනුගමනය කිරීමට සැලසුම් කර ඇත.”

සිය පැනයට ලද අනපේක්ෂිත පිළිතුරෙන් නීශා අකර්මණ්‍ය වූවාය. හදිස්සියේම ඉඳිකටුවක තියුණු ස්පර්ශය සම පසාකරනු ඇයට දැනිණි.

Corrections by Anuranga Herath
Special Thanks to Pasindu Sulochana

මේ වගේ තවත් ලිපි | Read more like this

The post හිමි අහිමි appeared first on කළු කුහරය | Black Hole.

කළු කුහරය | Black Hole http://ift.tt/2ChJSVU




http://ift.tt/2E7THDG
Visit our website to read more

Kommentit

Tämän blogin suosituimmat tekstit

ලොව​ බිහි වූ ඉතාමත් විශිෂ්ට විද්‍යාඥයන් දස දෙනෙක්

The FDA Fights Back Against Homeopathy

Modern human brain organization emerged only recently